Saturday, April 20, 2019

බැන්කු ජිවිතේ - # 003


මැදින් පටන්ගත්තට මගේ බැන්කු ලයිෆ් එකේ මුල ගැන ඒතරම් කියන්නේ නෑ, ඒකත් මේ දවස් වල සැගවුන ක්රයිසිස් පිට යන නිසා..මොකද ඒ මම ඉගෙනගත්ත සල්ලි හම්බකරපු තැන..මේ දවස් වල නම දාලා අනවශ්යය ප්රසිදිදියක් ඒකට හොද නැතිනිසා...ඒ වුනාට ආරම්භය මෙහෙමයි..

මම මුලින්ම බැන්කුවට තේරිලා ඉන්ඩක්ශන් කාලේ HR එකේ අපිට ට්රේනින් කරපු අයට කිව්වා මාව බැන්කොක් හරි සින්ගප්පුරු හරි ලග බ්රාන්ච් එකකට දාන්න කියලා, කිව්වා වගේම ට්රේනින් ඉවර වෙනකොට මාව මොරවක බ්රාන්ච් එකට දාලා. මොරවක කියන්නේ මාතර ඉදන් කිලෝ මීටර් 50ක් විතර දුර, පාරවල් අවුල් නිසා පැය දෙකහමාරක් තුනක් විතර යන ගමනක්…ඒ කාලේ දැන් වගේ අඩියෙන් අඩිය බැන්කු නෑනේ. අනිත් බ්රාන්ච් එක තියෙන්නේ දෙනියායේ. මම කොල්ලා කාලේ ගැටබරු පෙරහැර බලන්න ගිහිල්ලා වාහනය කැඩුන නිසා යාලුවොත් එක්ක මොරවක් ඉදන් දෙනියායට පයින් ගිහිල්ලත් තියෙනවා, ඉතින් මම හිතුවා මේ මොන අලයක්ද, තනියම බ්රාන්ච් එකට යනවා කියලා. ඒක නිසා මම ෆර්ස්ට් ඇපොයින්ට්මන්ට් එකට තනියම ගියේ මොරවකට. අපරාදේ කියන්න බැ නියම පොට් එක. ක්වාර්ටස් තිබුනේ සින්හ ෆර්නිචර්ස් එකේ උඩ. කාමර 3ක් තිබුනා, දෙන්නෙක් එක කාමරයක ඉන්නවා…ලන්කාවටම පායන කාලයක් හින්දා වතුර කපලා, උදේට නැගිටලා ඇදුම් අයන් කරලා හොදට ඇදගෙන ටවල් එක බෑග් එකට දාගෙන ටුත් බ්රශ් එක සාක්කුවේ දාගෙන බ්රාන්ච් එකට යනවා මෝටරේ දාගෙන මුන සෝදගන්න. බස් එකේ තමයි යන්නේ වැඩිම හෝල්ට් දෙකක දුර, හැබැයි කාටහරි "ගුඩ් මෝනින්" කිව්වොත් ඒක ඒ මිනිහගේ බෑඩ් මොනින් එකතමයි. මොකද දත් මැදලා කට සෝදලා ඉන්න එකක්ය. සතුටින් සමාදානයෙන් ගෙවුන ඒ ජීවිතයේ සතුට, දුක, වලි, ආතල් සහ කස්ටො එක්ක ගියපු ට්රිප් ගෑන කවදාහරි පොතක් ලියන්න ඕන, " ක්වාටර්ස් රසකතා කියලා"    

බැන්කුවට යනකොට මම වෙජිටේරියන්. ඊට ඉස්සර බිජු වෙජිටේරියන් ඊටත් ඉස්සර පෙස්කටේරියන් මේකත් දැනගෙන ඉන්ටවිවි පැනල් එකේ ලේඩි කෙනෙක් ඇහුවා මොකද වෙජිටේරියන්? කියලා මේ වෙජිටේරියන් ෆෑශන් එකක් වෙන්න ඉස්සර, මම කිව්වා "බිකෝස් මයි මම් ඈන්ඩ් මයි ග්රෑන්ඩ් මම් බෝත් ආ වෙජිටේරියන්" කියලා, එතකොට මේ ලේඩි කියනවා, “ සේම් හියර් අයි ඔන්ලි ඊට් මීට් ඉෆ් ඉට්ස් බීන් කුක්ඩ් බයි ද සර්වන්ට්, සම්ඩේස් ශී ඔන්ලි කුක්ස් එග්ස්”  කියලා.මේක අහපු අනිත් හිටපු ජෙන්ට් (AGM එකෙනෙක්) කියනවා "යා යා අපිත් එහෙමයි ගෙදර මස් ඉව්වොත් විතරයි කන්නේ" කියලා. මොකද ගෙදර ඉව්වේ නැත්නම් අල්ල්පු ගෙදරින් මස් කන්නද, මට හිතුනා අනේ සන්සාරේ කියලා, මුන් වෙජිටේරියන් ගෙදර මස් නැතිදවසට පමනයි. 


රහමෙරින් තොර වෙජිටේරියන් හිටපු මගේ දුරාචාරී ජීවිතේ ඇරබුම තමයි බැන්කුව, අපි පොඩි සෙට් එක ක්වාටර්ස් එකෙන් යනකොට උදෙන්ම ලග තියෙන කඩෙන් උණු උණු කොලකැද බොනවා, දහයට විතර සුපිරිසිදු එළ කිරි එකක් ගහනවා, හරියටම දවල් දොලහට දවල්ට කනවා හුගක් දවසට කුකුල් මස්, අලතෙල් දාලා පරිප්පු තෙම්පරාදුව. හරියටම දොලහට කනනිසා කෂ්ටිය කිව්වේ මුන් ටික නම් ඉස්සර හාමුදුරැවරැ සෙට් එකක් වගේ කියලා, ඊට පස්සේ හවසට එනකොට 5855 (බාර් එකේ අකවුන්ට් නම්බර් එක.) බාර් එකෙන් “ගල් අරක්කු” බොතලයක් ගේනවා බැන්කුවේ සීනියර් එකෙක්. ඉතින් ජුනියර් අපි බයිට් වෙවි බොනවා. දවසෙම පෝශණය ඉවරයි. මේක තමයි සතියේ දවස් පහකම වෙන්නේ. බාර් දෙකක් තිබුනා දෙක වෙන් කර ගත්තේ අකවුන්ට් නම්බර් එකෙන්. අනිත් බාර් එක 1063 වගේ මතක. දෙකෙන්ම අවුරුද්දට බෝතල් හම්බ වෙනවා. තේ ෆැක්ටරි වලින් තේ හම්බවෙනවා. පෙටා, චැතම් ස්ට්රිට්, සිටි, මරදාන සහ අනෙකුත් බ්රාන්ච් වලත් මේහා සමානව ෂර්ට්, බෝතල් සහ හෑම්පර්ස් හම්බ වෙනවා, ට්රේඩ් සර්විසස්, කෝපරේට් ෆය්නෑන්ස් තව වෑඩ්යෙන් හම්බවෙන ඩිපාර්ට්මන්ට්.


නිකන් දුන්නත් ඉතින් හෑමදාම බොන්න බෑනේ..අනික "ගල් අරක්කු" කියන්නේ ලාභම එක වයින් ස්ටොර්ස් කාරයත් අරැට දෙන්නේ ලාබ මගුල..ඕක බොන්න ගියාමත් බීල ඉවරවුනාමත් ගදේ බෑ.. ඇගට අමාරුවක් නම් නෑ ඒත් මුල් ශොට් දෙක තුන දාගන්නේ නාහේ වහගෙන ඇස් පියාගෙන...මෙච්චර කට්ටක් කාලා බොන්නේ මොන අහවල් එකකටද කියලා හිතුනා..මාත් එක්ක හිටපු අනිත් ජුනියර් එවුනුත් ටිකක් අද්යාපනයට බර මීටර් එවුන්...අපි ශේප් එකේ ක්වාටර්ස් එකේ පාඩම් කරන්න ගත්තා..අනිත් සින්නොත් මුකුත් කිව්වේ නෑ..අපි ඉතින් උන් කියන දේවල් අහගෙන ශේප් එකේ හිටපු නිසා..මුල් දවස් වල ටිකක් බරේ මොකද මුනුත් බීලා සින්දු කියලා ආතල් ගන්න එවුන් නෙමේ..අර බාර් වල ඉන්න ලොකු අශෝක වීදුරැ වල කටකපලා ශොට් දෙකක් දාලා කරටි කඩාගෙන ගොරොද්දෙ ඇද ඇද නිදා ගන්න සෙට් එක..අපි තමයි ඉතින් ගිටාර් එක ප්ලේ කරලා ක්ලැරන්ස්ගේ සින්දු, මිල්ටන්ගේ සින්දු, කැලිප්සෝ කියල උන්ටත් බොන එක ආතල් එකක් කරගන්න පුරුදු කරේ….ඉතින් අපි හැලුනම මුලින් ටිකක් බර බරේ..අපිත් ඉතින් තරහ කරගන්නේ නැතුව ශේප් න්යායෙන් කෑම කාබරේ පාඩන් කරන්න ගත්තා..ලොකු එවුන් ටික (ප්රොෆෙශනල් බෙබාලා) කාබරේකට වෙලා ගල් බෝතලේ බීලා "මල්ලිලා කොටයක් තියෙනවා" කියලා බුදියන්වා..අපි රෑ එක දෙක වෙනකන් ඉතින් පාඩම් කරනවා..තුන් දෙනා විශයන් තුනක් පාඩම් කරන්නේ..එකෙක් IBSL එකේ බැන්කින් එක්සෑම් කරනවා…මම ස්ලිම් එකේ මාර්කටින් සහ ACS (ඕස්ට්රේලියන් කම්පියුටර් සොසයිටි එකේ) ..අනිත් එකා එච් ආර් සහ සය්කොලොජි කෝස් එකක්…රස්නේ දවසට අපි බැල්කනියේ පුටු තුනක් දාගෙන පාඩම් කරනවා.. බැල්කනියේ ඉන්න කොට අපිට අහල පහල ගෙවල් පේනවා රෑ 12න් පස්සේ ගෙදරක කාමරේක ලයිට් එකක් දැම්මොත් අපේ පාඩම එතනින් ඉවරයි.. ඇයි ලයිට් එක දෑම්මේ කියලා එක එකා උපකල්පන දෙනවා..ඒවා ඉතින් කාටවත් කටක් ඇරලා කියන්නවත් මේ වගේ තැනක ලියන්නවත් පුලුවන් ඒවා නෙමෙයි..තුන්දෙනා ගෙන් එකෙක්ට වත් කෙල්ලෙක්වත් නැතිනිසා පුදුමාකාර ඒවා තමයි කියන්නේ..මේවා අහලා සයිකොලොජි එකා නිගමණය කරා අපිට තියෙන්නේ සුව කල නොහැකි කාම රෝගයක් කියලා..ඌට බැන බැන අපි නිදාගන්න යනවා.. ක්ලැරන්ස්ගේ "මගේ පැල්පතේ මා අදුරේ වෙලී මා..ගයමී මෙසේ”....සින්දුව කියකිය…

සමහර දවසට රෑට පාඩම් කරන්කොට බඩගිනි වුනාම කන්න මැගී ක්ෂනික නූඩ්ල්ස් ගෙනත් තියෙනවා...

                                                         To be continued………..

                                                          © පසන් , අප්රේල් 16, 2019.


පින්තූර ගත්තේ මෙතනින් අන්තර්ජාලයෙනි...

2 comments: