Sunday, May 5, 2019

~~~අයිතිය~~~


~~~~   අයිතිය  ~~~~

දුට්ඨගාමිණී අභය
නුඹ නම් ගියා තුසිතෙට
මා හට නිවී සැනසෙන්නට 
තිබූ රන් තෙලඹු ගස
පවා මට අහිමි කර…

එදා සිත හදාගෙන 
ගියා දුර පලාතට
බොහෝ සිත් නිවාලන
මහා සෑයට
පුදා මා බිම් කඩ…

එදාසිට බොහෝ දින
ගෙවුනි එක එක විලාසෙට
එහෙත් නොවරදවාම 
සෑම පුරසඳ නිශාවට
මමත් පිදුවෙමි මහා සෑ රද…

නුදුරු බක් මහා පෝයට
මම ගියා සුපුරුදු ලෙස
පැදකුණු කරන්නට 
මගේ මහ සෑ රද
නෙලූ කඩුපුල් මල්ද දෝතින් ගෙන…

ක්ශීර වර්ණෙන් සදා
සදෙව් ලොවටත් පෙනෙන ලෙසිනා
වැජඹුනු සෑ රජිඳා
නොදුටුවෙමි මම එදා
සුපුරුදු දෙසින් පෙනෙනා…

සැනකෙලි සිරින් ඉසිරී
නොයෙක් පෙලහර දුටිමී
විදුලි එලියෙන් කණ වුනී
මන් මුලා වූ බවක් දැනුනී
මගේ සෑ රද එතන නොවුනී…

නෙලූ මල් අතින් ගිලිහී
නෙතේ කඳුලැලි කඩා වැටුනී
මහා බැතියෙන් පිදූ සෑ රද
වෙළඳ දැන්වීමක් ලෙස
දවස් කුලියට යොදා තිබුනී…

ගාමිණී අභය, නුඹම පමණයි සාක්ෂිය
මා නුඹට පැවරූ
ඒ බිමේ අයිතිය 
විකිණිය නොහැකි බව
සිල්ලර කාසියට..........

©  විරංග ගුණසේකර ~~~~~~~~

පින්තූර අන්තර්ජාලයෙනි..   05/05/19

——————————————————————————————————————————


No comments:

Post a Comment