Monday, May 13, 2019

~~~~~~ ස්තුතියි මිත්රවරුනි ~~~~~~~



















සිදු නොවිය යුතූ දෙයම සිදු වෙමින් පවතී. අප නැවත අඳුරු ආගාධය කරා ඇදී යමින් සිටිමු. අප අතීතයේ සිටි අයට චෝදනා කලා සේම අපගේ දරුවන් අපට චෝදනා කරනු ඇත. සිය දහස් ගණනක් මිනිසුන්ගේ ලේ වගුරුවා සාරවත් කල භූමියෙ අස්වනු නෙලීමට පෙරම අප විසින් ගිනි තබා ඇත. ඔබ සිංහලයෙකුද දෙමලෙකුද මුසල්මානුවෙක්ද යන්න මේ ගින්නට අදාල නැත. ගින්න පැතිරෙනු ඇත. අසරණයින් ගින්නට බිලි වනු ඇත. හැකි උන් ගින්නෙන් පලා යනු ඇත. නොහැකිවුන් ගින්නෙන් දැවී යනු ඇත. අවසානයේ කලු ගැසුනු දුම් දමමින් ඇති භූමියක සිට අප එකිනෙකා වෙත අත් දිගු කරමින් චෝදනා කල හැක. නමුත් මේ බිමේ මල් පිපෙන්න තව බොහෝ කලක් ගත වනු ඇත. සමහර විට අපගෙ දරුවන්ටවත් එම වාසනාව උදා නොවනු ඇත.


ස්තුතියි මිත්රවරුනි ඔබගේ මානසික අසහනය කතෝලික පල්ලි වල දෙවියන් යදිමින් සිටි අසරණයන් හරහා මුදා හල මිත්ර වරුනි. ඔවුන්ගේ වේදනාව ඔබට නොදැනුනි නම් එදා කාත්තන්කුඩි පල්ලියේ කඩු පහරින් මිය ගිය ඔබගේ වාර්ගිකයෙකුගෙ ඥාතියෙකුගෙන් විමසන්න, එය ඔවුන් ඔබට පහදේ දෙනු ඇත. ඔබ කන්යාවියන් හා සැනසෙන්න. අප ඔබගේ බිරිඳ සහ අසරන කුඩා දරුවන් පෝෂණය කරන්නම්. 


ස්තුතියි මිත්රවරුනි, දැනුවත්ව හෝ නොදැනුවත්ව පල්ලි වල කඩු රැස්කල මිත්රවරුනි ඔබගේ කඩුවෙන් කැපීමට නියමිතව තිබුනේ අප කාගේ හෝ ගෙල බව දැන දැන අප නිහඬ වන්නම්. මේ ගින්න නිවාදැමීමට මිනිස් බිලි කීයක් අවැසිදැයි පවසන්න ? හෙට දවසේ දරුවන්ගේ නාමයෙන් අප ඒ බිලිපූජාවට සතුටින් බිලිවෙන්නම්. 


ස්තුතියි මිත්රවරුනි හදිසියේ ඇතිවූ මහා ජාති ආලයකින් මුස්ලිම් කඩ වර්ජන ව්යාපාරයක් දියත් කල කල ජාතික වීරවරුනි, තැටිය රත්වී ඇත, ඔබ ඔබගේ රොටිය පුච්චාගන්න. ඒත් මට පුළුටු සුවඳක් දැනෙන්නේ මන්දැයි පවසන්න.


ස්තුතියි මිත්රවරුනි, ඇස් ඉස් මස් දන් දී ලෝකයට කරුණාව , දයාව, මෛත්රිය පහදාදුන් ශාස්තෘවරයෙකුගේ උපන්දිනය සැමරීමට නොහැකිවීයැයි නොදන්නා සතුරා වෙත වෛරය මුදාහරින මිත්රවරුනි, ඔබ ආගමේ නාමයෙන් මහත් අභිමානයෙන් තෙල් දමා පහන් දැල්වූවා සේම, මේ ගිනි ඇවිලුනු පසු ඔබ වෙනුවෙන් දිවි පිදුමට සිදුවන සොල්දාදුවාගේ හිස ඉහත්තාවේ ඇති පහනටත් තෙල් දමන්න පැමිනෙන්න. ශඩ් වර්ණ පාලම් කොඩි වලින් ඔබගේ නගරය අලංකාර කල සේම, ඔහු අවසන් ගමන යන මාවත සැරසීමටත් පැමිණෙන්න.


ස්තුතියි මිත්රවරුනි, සතුරාට ගලකින් හෝ දමාගැසීමේ නොනිත් ආසාවෙන් පෙලෙනමුත් එයටද අවැසි ශක්තිය නොමැති කම නිසා සමාජ ජාලා හරහා ඔබගේ වීරත්වය, යුද රහස් සහ සංවෙදී තොරතුරු පිලිබඳ ඔබගේ දැනුම විදහාදක්වන මිත්රවරුනි, නාදුනන සොල්දාදුවාගේ පිලිරූ අසල ඔබ වෙනුවෙන්ද පිලිරුවක් ඉදිකර පුශ්පෝපහාර දක්වන්නම්. නමුත් ඔබගේ හෘද්සාක්ෂ්යය පිලිබඳ අපට වගකිව නොහැක.


ස්තුතියි මිත්රවරුනි, මිනිසි ලේ ගංගා ගලා යද්දී පවා, ඔබ විශ්වාස කරන දේෂපාලන මත්වාදයන් වෙනුවෙන් නොසැලී පෙනී සිටින මිත්රවරුනි, මිනී කන්දේ මුදුනත ඔබගේ පක්ශයේ කොඩිය කෙසේ හෝ රඳවන්න. නමුත් ඔබගේ ජයග්රහනය සමරන්න එකෙක් හෝ ඉතුරු වී ඇත්දැයි විමසන්න.


අවසානයේ ස්තුතියි මිත්ර වරුනි, මේ සියලු ගිනි ඇවිලීම් මැද ඔබගේ නිවස ආරක්ශිත නම් කාට හෝ වරද පටවා, කවුරු හෝ පැමින ගිනි නිවනතෙක් බලාසිටින මිත්රවරුනි. මිනී පිට්ටනි වල මල් පිපුනු පසු, මල් පිපීදැයි විමසන්න පැමිනෙන්න.

මීට ඔබ කල පවට කරගැසීමට සූදානම් වන ඔබගේ මිත්රයෙක්

             ~~~~~~~~ © විරංග ප්රතිභා.., මැයි 14, 2019. ~~~~~~~


පිංතූර අන්තර්ජාලයෙනි

No comments:

Post a Comment