Sunday, November 8, 2020

~~~අයිතියක් නැති ආදරයක අතරමග~~~

 තුන් කොන් ප්රේම කතා කියන්නෙම ආදරේ වරද්දගත්ත මිනිස්සුන්ගේ ජීවිතේ පැතිකඩක් කිව්වට මටනම් හිතෙන්නේ හැඟීම් දැනීම් එක්ක ජීවත්වෙන මිනිස්සුන්ගේ ඇලීම් ගැටීම් පෙන්වන මිම්මක් කියලයි. කාළයක් පුරාවට ආදරෙන් වෙලිච්චි දෙන්නෙක් අතරට තව කෙනෙක් එන එකම මේ සසර ගමනේ නවාතැන්පොළවල ඇතිවේච්චි ගණුදෙණු වල ඉතිරිවුන සමහරදේ බේරැම් කරන අවස්තාදැයි මට බොහෝවිට හිතිලා තියෙනවා. 


හුඟක් වෙලාවට තුන්දෙනාටම අන්තිමට ලැබුන දේට වඩා නැතිවෙච්චිදේ බොහෝමයි. ඒ වගේමයි එහෙම වෙලාවට වෙන වැරදිවැටහීම් ජීවිතකාළයක් තියෙන කතා. සමහර වෙලාවට ඒවා ශතවර්ශ ගණනාවක් මිනිස්සුන්ගේ සරතැස නිවන අතිශෝක්තීන් බවට පත්වෙලා හිමිහිට කාලයත් එක්ක අපෙන් ගිලිහිලා යනවා, එහෙමත් නැත්නම් ලේඛණගතවෙලා මුළු සංස්කෘතියක් පුරාවට දිවෙන පුරාවෘත බවටත් පත්වෙනව.

ආළකමන්දාව වාසභවණය කරගෙන පුශ්පිකයෙන් ගමන්කරපු රාවණ කියන්නේ ලංකාවේ විතරක් නෙමේ ඉන්දියාව ඇතුළු තව රටවල් බොහෝමයක පරාක්රමය විහිදුවපු කෙනෙක්. ඒත් මේ ලියමණ රාවණා කියන බලපුළුවන්කාරයා ගැන නෙමෙයි, රාවණාටත් ආදරේ වැරදුනාද කියල මට හිතුන දේ ලියන්නයි.


රාවණා ගැන රාම-රාවණ යුද්ධය සහ සීතා ගැනත් සදහන් වෙන්නේ ඉන්දියාවේ රාමායණය කියන පොතේ. අයෝධ්යාවේ රාම කුමාරයාත් මිථිලාවේ සීතා කුමරිය ගැනත් වෙනම ලියන්න තරම් කරැණු තියෙනනිසා ඒ දෙන්නා ගැන වැඩියමක් මෙතන ලියන්නේ නෑ. ඒ වෙනුවට රාමායණය ලියපු කෙනා ගැන සදහනක් කිරීම වටිනවා. රාමායණය ලියන්නේ “වාල්මිකී”, වාල්මිකී වෙන්න කලින් රත්නකාර. රතනකාර කැලේ අතරමන් වෙලා ඉද්දී  දඩයක්කාරයෙක් අරගෙන යනවා තමුන්ගේ හොරමුළට. එතැන් පටන් රතනකාර සොරමුළක දරැකමට හැදෙනව. අද කාලේ විදියට නම් වාල්මිකි හොරෙක් විදියට අතපොත් තියල ඉන්ටර්න්ශිප් එකක හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් ගන්න පොරක්. 


දවසක් මහාරිෂි නාරදව කොල්ලකන්න හදන රත්නකාරගේ ජිවිතේ බ්රහක්මරාශි වාල්මිකී ලෙස දෛවොපගත වෙනස්කමකට බඳුන් වෙනවා. ග්රහතාරකා එක්ක ජීවිතේ අහුමුළු හොයන කෙනෙක්ට මේ සිද්දිය වෙනමම පැත්තකින් පෙන්වන්නත් පුළුවන්. වාල්මිකී ගැනත් වෙනමම සදහන් කරන්න බොහෝ කරැණු කාරණා තියෙන නිසා දැනට මේ ඇති. ඒත් මෙතැනදී මේ අනුකතා පටලව ගත්තේ මනුශ්යයෙක් යම් තත්වයක ඉන්නවද ඒ තත්වයේ ඒ විදියට ඉන්න, හැසිරෙන්න හේතුපාදක වෙච්චි අපිට බැලු බැල්මට නොපෙනෙන බොහෝ කාරණා තියෙන්න පුළුවන් කියන එක අවධාරණය කරන්නයි. ඒ වගේමයි කෙනෙක්ගේ දියුණුවට ඇසුරැකරන අයත් ලොකුබලපෑමක් කරනබව පෙන්වන්නයි. කවුරැහරි ගැන දැනගන්න තියෙන ලේසිම ක්රමයක් තමයි යාළුවෝ කවුද කියලා බලන එක. එක ජාතියේ කුරැල්ලෝ එකට වහන නිසා යාළුවොන්ගෙන් අදාළ චරිතයා මොනවගේද කියලා අදහසක් ගන්න පුළුවන්. ඔය කොහොම වුනත්  මනුස්සයෙක්ගේ වත්මන් තත්වය ඉතා නරක වුවද ඔහුගේ අනාගත තත්වය විපර්යාසයකට බඳුන් විය හැකි බැවින් හොරෙකු, ගණිකාවක්, සල්ලාලයෙක්, බේබද්දෙක් වශයෙන් සමාජයේ ලඝුකරපු මිනිස්සු වුවද අවතක්සේරු කිරීම නුවනට එතරම් හොඳ නොමැති බවයි මගේ හැඟිම.


රාමා සිතා කතාව ඉන්දියාවේ ශතවර්ශ ගාණක් පුරාවට මිනිස්සු රසවිදින දේවත්වයෙන් පුදන මහා කාව්යයක්. ඒකේ හැටියට රාම සිය ආදරය වෙනුවෙන් ඕනෑම බලවතෙක් එක්ක වුනත් යුධ වදින වීරයෙක්. සීතා සිය සැමියා වෙනුවෙන්ම කැපවුන සැබැ ප්රේමයේ ප්රතිමූර්තිය. එතකොට රාවණා තමයි දුෂ්ඨයා. ඒත් රාමායණයේ කියන විදියටම මේ අයගේ පරමාදර්ශීගති තිබුනද? කාටවත්ම ආදරේ කියන තැනදී වැරදුනේ නැද්ද? මට හිතෙන්නේ මේ තුන්දෙනාටම කොතනකදි හරි වැරදුනා. ඒත් ඒ කොතනදීද කියලා බලන එක මට හිතෙන්නේ වටිනවා. මොකද ඉතිහාසයේ දෙස්දෙන වැරදි සමහර වෙලාවට ඇත්තටම වෙලා නෑ.


කෙටියෙන් කිව්වොත් වෙන මිනිහෙක්ගේ ගෑණියෙක් අරන් එන එක මහ ජරාවැඩක්, ඔව් ඉතින් රාවණත් කලේ ඒකනේ. ඒත් එහෙම අරගෙන ආවේ ඇයි කියලා ඇහුවම කියන්න බොහෝ අය හේතු සාධක සහිතව ඉතිහාසය ඉගෙන ගෙනත් නෑ.


මීනක්ශි එහෙමත් නැත්නම් සුපර්ණකා කියන්නේ රාවණාගේ නැගණිය. රාමායණයේ මුළු ඉතිහාසයේම ආදරය වරද්දගත්තු, රාවණා වගේම ඉතිහාසයේ වැරදි ප්රතිරෑපයක බිල්ලක් වෙච්චි තවත් එක ගැහැණියක්. කඩවසම් රාම දුටුමතින් ආදරය කරපු සුපර්ණකාව රාම ප්රතික්ශේප කරන්නේ සීතාට විතරක් කොටුකරපු ආදරය නිසා, ඒත් සුපර්ණකාව තමන්ගේ සහෝදරයා ලක්ශ්මන වෙතට යවන්නේ ඇයි කියන්න මට නම් තේරෙන්නේ නෑ. ලක්ශ්මනත් සුපර්ණකාව ප්රතික්ශේප කරනවා විතරක් නෙමේ ආපහු රාම වෙතටම එවනවා. මේ විදියට කීපවතාවක් දෙන්නා අතර දෝලණය වෙන කොට, සහෝදරයින් දෙන්නෙක් අතර විහිළුවක් වෙනකොට හැම ගැහැණියක්ම වගේම හිතට ආපු ආවේගය තවත් ගැහැණියක් වෙතට සුපර්ණකා මුදා හරිනව. ඒ සීතාට පහර දෙන්න තැත්කරල. මේක දකින ලක්ශ්මන සුපර්ණකාගේ කන්දෙකයි නාසයයි කපල දානව කියලයි ඉතිහාසයේ කියවෙන්නේ. අසරණ වෙන සුපර්ණකා ගිහින් නවතින්නේ තමන්ගේ අයියා ගාවට.රාවණ සීතා පැහැරගන්නේ තමන්ගේ නංගිට කරපු මදිපුංචිකම් වලට පලි ගන්නයි.



ලංකේශ්වර රාවණා මහා බලවතෙක්. එහෙම බලසම්පන්න අයියා කෙනෙක් තමන්ගේ නංගිට මෙහෙම දඩුවම් කරපු එකට නිකන් ඉන්නේ නෑනේ. තමන්ගේ සහොදරීට ආදරේ ඕනෑම අයිය කෙනෙක් වගේ රාවණාත් බැලුවේ කරපු වැඩේට පලිගන්න. අයෝධ්යාවෙන් සීතාව පැහැරගේන ආවාට රාවණා සීතාට අතවත් තියන්නේ නෑ. තමන්ගේ නැගණියට කරපු අසාදාරණේට ගන්න පුළුවන් හොදම පලිය ඒක වුනත් රාවණා සීතාට අතවත් තියන්නේ නෑ. තමන්ගේ ලෙයින් හැදිච්ච දුවලා අඹුකමට ගන්න, එක දවසකින් බිත්ති හතරකට කොටුකරලා ආදරේ පිරිසිදුබව රාගයෙන් කිලිටි කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්න අදවගේ කාලේක, ආපහු ගිහින් බැලුවම ඉතිහාසයේ එකතැනක රාවණාලත් හිටියා කියලා මතක තියාගන්න වටිනවා. 



ඕනම ශක්තිවන්ත පිරිමියෙක් වගේ රාවණාත් බලෙන් සීතා ගන්න බැලුවේ නෑ. ගැහැනියෙක්ගේ ආදරයක් ඇතිවෙන්නෙ මෙන්න මේ විදියටයි කියලා කොහේවත් ලියලා නෑ. ඒත් නියම පිරිමියෙක්ට ඒක දැනෙනවා, ඒකට කරන්න ඕනදේත් රාවණා කලා. එතකොට සීතා ගැන කියවීම කොහොමද? ඇයත් හැඟීම්, දැනීම් තිබුන ගැහැණියක්. ඒත් ඇය පතිව්රතාව රැක්කා, අදටත් පතිවෘත්තාවේ දෙවඟන ඇයයි.  දේවත්වයටත් පත්වුන ලක්ශ්මී දෙවඟන කියන්නේ සීතාට.


දැන් බලමු කතාවේ අවසානය, කෙටියෙන් මෙහෙම අහමු, ඊට පස්සේ?


ඉතින් ඊට පස්සේ රාමා රාවණා පරද්දලා, රාවණව මරණයට පත්කරනව. වීර චරිතයක් වෙලා සීතාව නැවත එක්කන් යනවා. 


පිරිසිදු ප්රේමයට හොඳ අවසානයක් නෑ කිව්වට ඔය තියෙන්නේ. අවසානයේ අවංක ආදරය ජය ලබනව. රාමා සීතා නැවතත් ආදරයෙන් එක් වෙනවා. ඒත් ඒක එහෙමයි කියල මටනම් හිතෙන්නේ නෑ. පිරිසිදු අව්යාජ ප්රේමයක පරික්ශා නෑ, එහෙම තියෙන තැනක තියෙන්නේ අවංක ප්රේමයක මළගමක සලකුණු විතරමයි.


එහෙම කියන්නේ ඇයි කියල ඉතිහාසය හේතුදක්වන්නෙ මේ විදියට, දෙවෙනි බිරින්දැ  දශරථ රජතුමාව රවටාගෙන  රාම රජවාසලින් පිටමන් කරද්දී, සිය පියාගේ සතුට උදෙසා රාම සහෝදරයත් එක්ක වනගත වෙද්දී, මිථිලා නුවර රජසැප විඳපු, දිනක් වත් දුක් නොවිදපු සීතා තම ස්වාමියා එක්ක එකතුවෙනව. ආදරය වෙනුවෙන් ගැහැණු තීරණගන්න දෙපාරක් හිතන්නේ නෑ. එදා පටන් සීතා කැපවුනේ සිය ස්වාමියා වෙනුවෙන්, සැප දැක්කම කොට්ට මාරැකරනවා වගේ මිනිස්සු මාරැ කරන අද කාලේ ගැහැණුන්ට සීතා කියන්නෙ අදහන්න වටින පරමාදර්ශ.


ඒ වුනාට රාවණා පරදවල ජයග්රාහීව අයෝද්යාවට එන රාම කරන්නේ මොකක්ද දන්නවද? පතිවත ඔප්පු කරන්න සීතාට ගින්නට පනින්න කියනවා. තමන්ගේ තාත්තගේ සතුට වෙනුවෙන් රජකම අතැරපු රාම, තමන්ගේ තීරණේට වචනයකින්වත් එපා කිව්වේ නැතිව, වණගතවෙලා හැම දුකක්ම දරාගෙන, තමා වෙනුවෙන් ජීවිතේම දන් දුන්න සීතා වෙනුවෙන් අවශ්යම මොහොතේ පෙනී ඉන්නේ නෑ. රාම සීතාව තනි කරන්නේ සීතාට රාම ඇවැසිම තැනදි. එතකොට කෝ අර මුලින් කියපු ආදරේ...


රාමායණයට අනුව තම පතිවත ඔප්පු කරන්න ගින්නට සීතා පනිද්දී, ගිනි දැල් නෙලුම් මල් බවට පත් වුනාලු. ගිනිදැල් නෙළුම් මල් වුනත් රාම සෑහීමකට පත් වුනාද? මිත්රවරැනි කියන්න තියෙන්නේ නෑ කියලයි.


එතකොටත් ගැබ් ගෙන හිටපු සීතාව වනවාසයට අරින රාම පසු කාළීනව තම නිවුන් දරැවන්ගේ කතාඅනුව සීතාට අයෝද්යාවට එන්න පණිවුඩ යැව්වත් සීතා ආපහු එන්නේ නෑ. මේ සුපර්ණකාව එපා කියපු, තමන්ට එක බිරිදක් පමණක් ඇතිය කියපු, ඒ බිරිදට පමණක් ආදරේ කරපු රාම නේද කියලත් සීතාට හිතෙන්න ඇති.  දේශපාළණික,  සමාජ පිලිගැනීම්,  රාජ්යත්වය සහ සැප සම්පත් ඉදිරියෙ ආදරේ සීමා ඉරි අදින්න මිනිස්සු හරි දක්ශයි.


රාමායනයට වීරයෙක් වුන රාම ආදරය ඉදිරියේ නිවටයෙක් වෙන්නේ මෙන්න මේ හිතුව නිසා… රාමත් එතැනදී ආදරය වරද්දාගන්නව…


මහා බලපරාක්රමයකින් යුක්ත වෙලත්, තනි වෙච්චි ගැහැණියකට අවශ්ය රැකවරණය දීලා ආදරෙන් රැකබලාගත්තු රාවණ වෙනුවට, ප්රේමයේ පාරිශුද්ධත්වය වෙනුවෙන් පරික්ශාවන්ට යොමු කරපු රාම වගේ මිනිහෙක්ට එක හිතින් බැදිලා හිටපු සීතා….,


මට හිතෙන්නේ ඇයටත් එක තැනකදි ආදරේ වැරදුනා……


එතකොට රාවණා…


රාවණව මම ගලපගන්නේ ඇතුලතින්..


කිසි දවසක තමන්ට අයිති වෙන්නේ නැති, අයිති කරගන්නත් බැරි ගැහැණියක් වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න, ඒ වෙනුවෙන් ඉතිහාසය පුරාවටම දුශ්ඨයෙක් වෙලා මිය ගියපු රාවණ ලෝකයට දුශ්ඨයෙක් වුන ආදරේ වැරදුනාට වැරදුන තැන ගලපගත්ත තවත් එක වීරයෙක්..


අපි ඇතුලෙත් ඉන්නවා ඒ වගේ රාවණා කෙනෙක්…


හිත ඇතුලේ අපිට අයිති වෙන්නේ නැති, අයිති කරගන්නත් බැරි ගැහැණියක් වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න, ඒ වෙනුවෙන් ඉතිහාසය පුරාවටම දුශ්ඨයෙක් වුන රාවණගේ අවතාරයක් ඉන්න අපි හැමෝටම ආදරේ කොහේදිහරි තැනකදි වැරදුනා..

..

.

.

ආ...මන්දෝදරීව අමතක වුනේ නෑ. සීතාත් මන්දෝදරීත් එකම කාසියක දෙපැත්ත වගේ.

..

.


© පසන්


, පර්ත්, 2015.

පින්තූර අන්තර්ජාළයේ Usha Narayana’s Book “Prem Purana”

No comments:

Post a Comment