Sunday, August 18, 2019

⚔ ⚔ ⚔ ⚔ ⚔ යුධ කළාවේ ප්රභවය, විකාශය සහ දිගැසිය. ⚔ ⚔ ⚔ ⚔ ⚔



දහසය වන ශතවර්ශයේ ඉංග්රීසි නාට්යය රචක ක්රිස්ටෝපර් මාර්ලව් ඔහුගේ "ටැම්බර්ලේන් ද ග්රේට්" හි මෙසේ පවසා ඇත. "යුධකළාව මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ කවරෙක්ද, ඔහුට ශාප වේවා". මානව වංශකතාවේ ඇරඹුමේ පටන්ම ආවේණික වූ එකිනෙකා අතර සටන්, ගහමරාගැනීම් පැවතුනද, ක්රමවත් හමුදාවන් හා යුද ශිල්පය මිනිසාගේම වූ නිර්මාණයක් විය. මනාකොට සිතාමතා එකට දමා පැසවා නිස්සරණය කලයුත්තා වූ අපූරැ කළාවක් සේ එය දැක්විය හැකිය.

ඉතිහාසය හැදැරීමේදී සුන්ත්-සූ, ක්ලොව්ස්විට්ස්, ජොමිනි මනාකොට විග්රහ කලාවූ සාම්ප්රදායික, අර්ධ-සාම්ප්රදායික, අවිධිමත් සහ ගරිල්ලා යුධ සැළසුම් වර්ථමානයේ න්යශ්ටික බල අරගල දක්වා පැතිරීමත් එහි ප්රගමණය, විකාශය මතින් ලෝකයේ කාර්මික හා බුද්ධි විප්ලවයන් සඳහා වූ මහා දායකත්වයත් මනාකොට අධ්යයණය කිරීමෙන් අනාගත යුධ වැලැක්වීමටත්, නොවැලැක්විය හැකි යුධ ජයග්රහණයටත් අවශ්යය වන්නාවූ විසඳුම් සොයාගත හැකිවනවා ඇත. නූතනයේ භාවිතාවන වානිජකරණය වූ බොහෝ නිර්මාණ මූලිකවම යුධ සැළසුම් සඳහා පළමුව යොදාගත් නිමැවුම්ය.1967 ආර්පානෙට් (pre-cursor to the Internet), ස්ථානයන් සෙවීමටත් ගමන් සඳහාත් යොදාගන්නා ජී.පී.එස් (GPS) තාක්ශණයන්ගේ සිට හමර් ජීප් රිය දක්වාද, න්යායික හා සෛද්ධාන්තික මට්ටමින් මානව සම්පත් කළමණාකරණයේ,තොරතුරැ තාක්ශණයේ සහ ව්යවහාරික විද්යාවන්ගේ නවතම සොයාගැනීම් සිට න්යශ්ඨික බලය දක්වාද වාණිජකරණය වූ යුධ නිර්මාණයන් අද ලෝකයේ භාවිතාවේ යෙදීමෙන් මෙය මනාව අවබෝධ කොට ගත හැකි බව පැහැදිලිය.

නූතන සාංග්රාමික උපක්රමයන් විශ්ලේශණයේදී එළිදරවු වන වැදගත් කාරණයක් වේ. එනම් මෙසේ විකාශය වූයේ තෙමිස්ටොක්ලිස් ගේ විශ්මිත නාවුක ක්රමෝපායයන් බවය, හැනිබල්ගේ අපූරැ යුධ සැලසුම් බවය , සීසර් ගේ වික්රමාන්විත උපක්රමයන් බවය, ජෙන්ගිස් ඛාන්ගේ වීරෝදාර මන්ගුඩායි සටන්කරැවන්ගේ දක්ශතාවයන් බවය. 

තව දුරටත් විශ්ලේශණයේදී ප්රකට වනුයේ, ජානිබෙග් ඛාන්ගේ 1347දී යොදාගත් ප්රථම ජෛවවිද්යාත්මක සංග්රාමයන් හරහා, ෆ්රැන්සෙස්කෝ පිසාරෝගේ විචක්ශණයන්ද තුලින්,සැමුවෙල් චැම්ප්ලේන් ගේ තීක්ශන විනිවිදීමෙන්ද, ඇමෙරිකානූ සිවිල් යුධයේ සාංග්රාමික සන්තතිය වෙනස් කලාවූ බ්රිගේඩියර් ජෙනරල් ඩැනියෙල් මොර්ගන් ගේ දුරවබෝධය සහ සංග්රාම භූමියේ භාවිතයත් ඔස්සේ, අද්මිරාල් නෙල්සන්ගේ ට්රැෆල්ගාර් සටනින් පසුව අද්මිරාල් හෙයිහචීරෝ ටෝගෝ විසින් සුශීමා සමුද්රසන්දියේදී රැසියානු බෝල්ටික් බළඇණිය ගිල්වාදැමීමත් සමගින් වූ, දෙවියන් වහන්සේ දින හයකින් ලෝකය මවා සත් වැනිදින විවේක ගත්තා සේ, ඊශ්රායලය දින හයක් අරාබි ලෝකය සසළකොට සටන්කොට සත්වනදින ජාතියක් ලෙස ලෝ බිහිවූයේ යම්සේද, ඒ සියල්ලක්ම කැටිකොට දැඩිකොට මනා සංකලණයකින් අධ්යයනය කල යුතුවූ යුද සංග්රාමයන් සියල්ල, ලොවක් මවිත කෙරෑ පූර්වාදර්ශයන් ප්රතිශ්ඨාපණය කෙරැවාවූ හැරවුම් ලක්ශයන් සේ දැක්විය හැකි වීමයි.

එලෙසින්ම නවමු මානයක් ඔස්සේ යුධ කළාවේ ඉතිහාසය මෙසේද දැක්විය හැක, දහහත්වන සියවසට පෙර රාජ්යය හා බලය සංකේන්ද්රීය වු ප්රභවයන් ලෙස රාජධානි (kingdoms), අධිරාජ්යය (empires), ජනරජ (republics), පාප් පදවිය (papacies), මහමත්තුමාගේ පරම්පරා ප්රවර්ථනය (caliphates), ආගමික නිකායන් (religious sects), ගෝත්රීය නායකයින් (warlords), ආදිපාද වරැන් (duchies), නාගරික ජනපද (city states), තරඟකාරීන් අතර වන අනෝන්ය ගිවිසුම් (cartels), බලවත් දාමරිකයන් (powerful bandits) සහ කුළීහේවායන් (powerful  mercenaries) පෙන්වා ලිය හැකි අතර යොදාගත් යුධ උපක්රමයන්ගේ විවිධත්වය හා උපයෝගයන් හරහා බල විචල්යයන් සිදුවිය.

පළමු, දෙවන හා තෙවන ප්රවේණියන් පසුකරමින් සතර වන පරම්පරාවේ යුධ බලයේ විකාශය මෙසේ දැක්විය යුතුවේ. ක්ලොව්ස්විට්ස් ගේ චිරන්තන දෘශ්ඨිය වූයේ යුධගැටුම් දේශපාලනික චින්තනයේ චණ්ඩ දිගුවීම් වශයෙනි. ඒ අනුව බලන විට වෙස්ටෆාලියන් යුගයේ සීමාවන්ට ඔබ්බට ගිය දැක්මක් ඔහුට නොතිබුනි.යුධ නිරීක්ශකයන්ට හා පර්යේශකයන්ට අනුව යුධ ධූමීකාවෙන් (fog-of-war) අවහිර නොවූ දැක්මක් ඔහුට නොතිබුනි. නමුත් සුන්ත්-සූට අනුව යුධකළාවේ ස්වර්ණමය මූළධර්මය වනුයේ “මුළාකිරීමයි” (Deception/ deceit). 1862 වසරේ ඇමෙරිකානු සිවිල් යුධ සමයේ මේජර් ජෙනරල් මැගෘඩර් ගේ මොන්රෝ බළකොටුවේද, 1943 දී අද්මිරාල් ශිරෝ කවාසේ, කිස්කා දූපතින් ජපන් අධිරාජ්යාගේ සොල්දාදුවන් ගලවා ගැනීමේ සිට, 1944 දෙවන ලෝක යුධසමයේ මිත්ර හමුදාවන් නොර්මැන්ඩි වෙරළට ගොඩ බැසීම දක්වා බොහෝ හමුදා ක්රියාදාමයන්ගේ මෙම මූළික මූළධර්මයේ භාවිතාව යෙදී ඇත.

හමුදාවන්ගේ ක්රියාදාමයන් හා සබැඳුනාවූ බොහෝ හමුදා නායකයන්ද විසිතුරැ චරිත ලක්ශණයන්ගෙන් අලංකෘතවූ අපූරැ මිනිසුන්ය .රොබර්ට් ක්ලයිව් බ්රිතාන්යය අධිරාජ්යය ඉන්දියාවේ පැතිරවූයේ මනා කළමණාකාරීත්වයෙන් හා දරදඬු පරිපාළනයෙනි. ජේම්ස් වුල්ෆ් ප්රංශ හමුදා කැනඩාවෙන් පලවාහැරියේය. වොශින්ටන් නූතන ඇමෙරිකාව සඳහා අත්තිවාරම දමන ලදී. නෙල්සන් සහ කොච්රේන් විසින් නැපෝලියන් හට සමුද්රයේ හිමිකම් අහිමිකර පරාජයට ලක් කරන ලද අතර, වෙලින්ටන් අධිරාජ්යයක් දණගැස්වූයේය, ග්රාන්ට් ඇමෙරිකානු සිවිල් යුධ ජයග්රහනයන් අත්කර දී ලොව බලගතුම රාජ්යයක් බවට ඇමෙරිකාව පත් කිරීමට අඩිතාලම දමන ලදී. ගැරිබ්රැල්ඩි ඉතාලිය එක්සේසත් කල අතරම මැක්ආතර් මනාව ජපානය පරිපාළණය කලේය. රොමෙල් බටහිර යුරෝපයේ ප්රතිවාදීන් ප්රත්යවර්තනය කොට උතුරැ අප්රිකාවේදී බ්රිතාන්යයද මැඩපැවැත්වීය. මොන්ට්ගොමරී විසින් යුරෝපයේදී ජර්මාණු හමුදා අඩපණ කරන් ලද අතර පැට්න් ගේ පහරදීම් ජර්මාණුවන් යුරෝපයේ දණගැස්සුවේය.

ඒ සඳහා ඔවුන් යොදාගත් සමරවිද්යාවන් එකිනෙකට වෙනස් වන්නාසේම ඔවුන්ගේ චරිතයන්ට පූර්ණවශයෙන් ස්වායක්තවූ අවස්ථාවන්ද විය. ක්ලයිව් විසින් විජිතවැසි ඉන්දියානුවන්ගේ මහත්වූ හමුදා ඛණ්ඩයන් විනාශ කෙරැවේ සිය කුඩා කණ්ඩායමේ පුහුණුව හා අවි බලය යොදාගෙනය. වොශින්ටන් ගරිල්ලා සහ සාම්ප්රදායික සටන් යොදාගති. කොච්රේන් හදිසි පහරදීම් සහ කමාන්ඩෝ/ (විශේෂ ඒකක සටන් සඳහා අනුයුක්ත කල) භටයින් යොදාගත්තද වෙලින්ටන් විශිෂ්ඨයෙකු වූයේ භූමියේ ආරක්ශාව උදෙසා කටයුතු කල නිසාවෙනි. ග්රාන්ට් යුධ සැපයුම් සඳහා පළමුවරට දුම්රිය මාර්ග භාවිතා කල අතර ගැරිබ්රැල්ඩි පතල වූයේ නාවුක සහ ගරිල්ලා නායකයෙකු වශයෙනි. මැක්ආතර් යනු දියෙන් ගොස් ගොඩබිමට පහරදීමේ විශිශ්ඨයෙකි. රොමෙල් ඔහුගේ උපදේශක ගුඩේරියාන් මෙන්ම යාන්ත්රික බළගණයන්ගේ මෙතෙක් ලොව පහලවූ සුපිරි පහරදෙන්නා විය. පැටන් සහ මොන්ට්ගොමරිද යාන්ත්රික හා පාබළ සංග්රාමයන්ගේ විශාරදයින්ය.

මේ සියල්ලන්ගේ නායකත්ව “පුළිඟුව” මනාකොට මෙසේයැයි නිරවද්යතාවයෙන් හා සවිස්තරව කීමට විශ්ලේශකයන් අපොහොසත්ය. එක් වාක්යය කණ්ඩයකින් එය අර්ථ දැක්වු ක්ලොව්ස්විට්ස්ට අනුව “coup d’ oeil”  "කූ ඩේ" ලෙස දක්වා ඇත, එනම් "ඇස වෙතම පහර දීම" ලෙස පදගතානු ලෙස ගතහැක. යුධබිමේ සුභග සටන්කරැවෙකු සතුරාගේ මොහොතක පමාවෙන් යුධබිම තම අණසකවෙත නතුකරගැනීම ලෙසද මෙය අර්ථ දක්වයි. මේ අදහසට ප්රතිඅදහස් ලෙස "සාංග්රොපායිකව විශිෂ්ඨ මිනිසුන්" උපහාසයට ලක්කොට "යුද්ධය හා සාමය" නවකතාවේ මහාගත්කතුවර ලියෝ තොල්ස්තොයි, ජෙනරාල් කුටුසොව් දක්වා ඇත. ලිටින් ස්ට්රැචේ ඔහුගේ "එමිනන්ට් වික්ටෝරියන්ස්" හි ජෙනරල් ගෝර්ඩන් ව උපහාසයට ලක්කරයි.  බ්රිතාන්යය යුධ ඉතිහාසඥ ජෝන් කීගන් තොල්ස්තෝයි ගේ අදහස සමීපයට පැමිණ යුධ නායකත්වය අර්ථ දැක්වූයේ "විධානකරැගේ වෙස්මුහුණ" වශයෙනි. එනම් පවතින තත්වානූකූලව වෙනස්වීමයි.

ක්ලොව්ස්විට්ස් ගේ මතය වූයේ යුද ගැටුමි විඥානවාදී අර්ථයෙන් ගත්කල රික්තකයක බාහිර වෙනත් බලපැම්වලින් තොරව සිදුවිය යුතු බවයි. මෙය විරෑපකලාවූ සිද්ධාන්තයකි. යුධ කළාව යනු එකලා ක්රියාවක් නොව විවිධාංගීකරණය වූ කියාවන්ගේ එකතුවකි. එය පරම පූර්ණ නිරපේක්ශයක් නොවේ. නැපෝලියන් වරක් පැවසු පරිදි "යුධ ප්රයෝගයේ නිපුනයෙකු වීමට සංකීර්ණ යුධ අභ්යාස ඇවැසි නැත; මූලික මූලධර්මයන්ගේ ප්රවීනත්වය සංකීර්ණ අභ්යාසයන්ට වඩා වැදගත් අතරම සාමාන්යය බුද්ධිය ප්රධාන තැනක් ගනී." මේ සියල්ලටම වඩා දබරකිරීමට යොමුවූ ධීර මනෝ භාවයක් අත්යාවශ්යය වේ. කිසිදු සංග්රාමයක් සේනාධිනායකයා අතහැර දමන තෙක් පැරදුනේ ලද නොවේ. බලාපොරොත්තු සහගත වීම සහ ඇවැසි විට දරැණු හා හදිසි තීරණ ගැනීමේ හැකියාව නායකත්වයේ මූලික ගුණාංගයන්ගේ ලක්ශණයකි.  

අනාගත යුධ කළාව නියත ලෙසම කෲරවූත්, චණ්ඩවූත්, මිලේච්ඡවූත්, භීම  සංග්රාමයක් වනු නොඅනුමාණය. එය ආලෝකයේ සහ අඳුරේ සිදුවන්නාවු සංග්රාමයක් වනු ඇත. තම ලබැඳීන් සුරැකීම් වස් අභීත මිනිසුන් සිය ජීවිත පුද කරනු ඇත. 4 වන සියවසේ කතුවරයෙකු වූ පබ්ලියස් ෆ්ලාවියස් වෙජිටියස් රීනේටස් බැවහරේ දී “වෙජිටියස්” ලෙස හඳුන්වන ලද අතර ඔහුගේ "රෙස් මිලිටාරිස් ඉන්ස්ටිටුටා" නැතහොත් "එපිටෝමා රේ මිලිටාරිස්" එකල ගෞරවාන්විතව උපන්යාස කරවූ ග්රන්ථයකි. එහි පසිඳු ආප්තපදය මෙසේය, “Si vis pacem, para bellum” , ”සී විස් පාකෙම් පර බෙළුම්" එනම් "සාමය කැමැත්තො යුධ සුදානමින් සිටිත්වා" යනුවෙනි.  එය ඉංග්රීසියෙන් මෙසේද දක්වා ඇත,  “Qui desiderat  pacem, praeparet bellum” or in translation “ Let him desires peace prepare for war”

මරණය නියතයකි. ලොව ඉපදුනු සියල්ලෝම මරණය අතදරා උපන්නවුන්වේ. ඒ අතරට අල්පයක් වූ ධීමතුන් සිය නාමය ශතවර්ශ ගණනාවක් අමරණීය කොට ඇත. ඒ යුධකළාවේ දැක්වු නිපුණත්වයෙනි, වීරත්වයෙනි. බොහෝ කළානිර්මාණ සඳහා හේතුභූත වූ ජපානයේ සිදුවීමකින් මේ ලිපිය නතර කිරීමට සිතුවෙමි. එය 1701 දී ජපානයේ සිදුවීමකි, මෙය දැනට ලෝකයෙන් සීඝ්රයෙන් නැතිවී යන අකුටිල උදාරත්වය, ආත්මාභිමානය, සද්ගුණය සහ  බළාධිකාරිය කෙරේ ඇති පක්ශපාතීත්වය ඉස්මතුකොට පෙන්වන්නාවූ උදාර දිවිපිදීමක කතාවයි. 

1701 වසරේ තොකුගාවා සමයේ, ජපානයේ අධිරාජ්යයා වූ හිගශියාමා ඔහුගේ රාජ්යය දූතයෙක් ලෙස කිරා යොශිනකා එදෝ අංගනය වෙත යවයි. දූශිත නිළධරයෙක් වන කිරා අයථා ලෙස යුක්තිගරැක අසානෝ නගනොරි ඝාතනය කරනු ලබන අතර නගනොරිගේ පාක්ශික සමුරායි සටන්කරැවන් ඉවසීමෙන් බලාසිට සිය ස්වාමියාගේ මරණය වෙනුවෙන් පලිගැනීම කොට කිරා යොශිනකා මරා දමයි. ඉන්පසු ඔවුන් සියල්ලෝම සිය දඬුවම බලාපොරොත්තු වෙමින් අසල සෙන්ගකුජි ආරාමයේ සිය ස්වාමියාගේ දෙන අසලට වී සන්සුන්ව කල්ගෙවූයේය. මරණය වුව සන්සුන්ව පිලිගැනීම නියම "බුෂීඩෝ" මනෝභාවයයි. ඔවුන'තර සිටි ළාබාලම සාමාජිකයා අවුරැදු දහසයක් වූ ඔයිශි යොශියෝ ගේ පුත්රයාද නියම සමූරායි වරයෙක් සේ ටැන්ටෝ අසිපතින් උදරය විවරකොට මියගියේය. ජපානයේ මෙය ආදර්ශමත් පුරාවෘතයක් බවට පත්වී ඇත.     

සංග්රාම භූමීයේ මියයැම වීරත්වයයි, සංග්රාමයෙන් පසුව ජයග්රහණය කොට සිය ප්රතිපත්තීන් සපථ කොට ඒ වෙනුවෙන් මියයෑම දේවත්වයයි.

1702 සිට සෑම දෙසැම්බර් 14 දිනකම ජපානයේ සමරන්නේ සිය නායකයා උදෙසා පළියගෙන ජයග්රහණයෙන් පසුව සෙන්ග්කුචි විහාරයේදී සෙපූකු කරගත් සමුරායි 47 දෙනාගේ කතාවයි.යුධ කළාව යනු අපූරැ දෙයකි, එහි ඇත්තේ ගෞරවය, මරණය, වීරත්වය සහ මිත්රත්වය පමණකි. විරැවෝ මියගියද සිය සමීපතමයන්ගේ හදවත් තුල සැමදා ජීවත් වේ. ඊයේ, අද සහ හෙට මිනිස් වර්ගයාගේ යහපත් හෙටක් උදෙසා ගෞරවණීය අරමුණක් වෙනුවෙන් සටන් වැද මියගිය යුධ විරැවන් සියල්ලන් සහ උදාරතර අරමුණක් උදෙසා කැපවී අඥාතව ප්රයාපිත වූ  යුධ විරැවන් සියල්ලන්මද බැතියෙන් සමරමු.. 

© පසන්, පර්ත්. 2019.
පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි.



No comments:

Post a Comment