Tuesday, June 11, 2019

දෙවියනි මා නිරයට යවනු මැනවි...




දෙවියන් වහන්සේ ස්වර්ගය සහ ලෝකය මැවූසේක. (උත්පත්ති පොත) එනමුත් එකලට ප්රථම දෙවියන් වහන්සේ සූරදූතයින් මැවූ බව ජෝබ් පොතේ 38 පරිච්චේදයේ 4 සිට 7 වගන්තියන් පැහැදිලි කරවයි. 
“4  මා මහ පොළොවේ පදනම් දමන විට නුඹ කොතැන සිටියෙහි ද?
5   එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද?
ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද?දන්නෙහි නම් කියව.
7  ඒ අරුණෝදයෙහි පහන්තරු ගී ගැයී ය. සියලු දෙවි පුත්හු තුති ගොස නැඟුවා හ.
යක්ෂයා (සාතන්) ගැනද ජෝබ් පොතෙ සදහන් වන්නේ එයටත් පෙර සිටය,ඒ ජෝබ් පොතෙ 1 වන පරිච්ඡේදයේ 6 වන කොටසේ මෙසේ සදහන්ව ඈත.

6   තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය. 
7 “නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය. යක්ශයාගේ සමාගමයද දේව සභාවේමය, අය්යො සල්ලි. ඒ නම් යක්ශයා කැමට ඩයල් සොයමින් විය යුතුය. ඒක කියන්නේ, 1 පේදුරු 5-8 කියවලාය

         8 සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය. “ඕ ගෝඩ්, බල්ලා බැද නැත, පරෙස්සමෙන් ගෙදරට යා යුතුය”. 

විපරීතයකි නපුර උපදවන්නේද විපත ඇති කලාවූයේද ඒ තැනන්වහන්සේ මය, යක්ශයා නොවේ (යෙසායා 45 : 7 පෙරළා බලනු මැනවි..)

7 එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදුකරන ස්වාමීන්වහන්සේයයි කියනසේක. එසේ නම් මා යක්ශයාට බයවූයේ ඇයිදැයි නොතේරේ.


දෙවියන් වහන්සේ සියල්ල දන්නා සේක, තමාගේ මැවීමම තමන්ට විරැද්ධ වන බවත් දන්නා සේක. සර්ව සම්පූර්ණ මැවීමක් නොවන බවත් දන්නා සේක් හ. තමාහට පෙරළා පහරදීම් කවදා වෙත්දයි නොදන්නා හෙයින්ද, පෙර සූදාණම මැනවයි අපායද මැවූ සේක. පවට දඩුවම් දෙන දෙවියෝ පව්කාරයාට ආදරය කරන සේක, දේව දූතයෝටද ආදරේ හෙයින් එහි හෙලූ සේක. ඒක කියන්නේ, 2 පේදුරු 2 පරිච්ඡේදයේ 4 වන වගන්තියේ කියවලාය එය මෙසේය, 
4 පව් කළ දේව දූතයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දීමෙන් නොවැළකී, ඔවුන්ගේ විනිශ්චය සඳහා ඔවුන් වෙන් කර තැබීමට නිරයෙහි හෙළා, අන්ධකාර ගුහාවලට භාර දුන් සේක. 

කැරළි ගසන දේව දූතයෝ මවා වැඩේ අල කර ගත්තත් දෙවියන් වහන්සේ සැලුනේ නැත. මිනිසාද මැව්වේය, ඌත් එහෙමය පරණ ගෝළ සාතන් වගේම විය.ඒත් දෙවියන් වහන්සේගේ කරුණාව නිසා 14 හැවිරිදි කණ්යවක් ගැබ්ගන්වා උන්වහන්සේම උන්වහන්සේ උදෙසා මරණයට පත්වී උන්වහන්සේ අල කරගත් වැඩේ ගොඩදා ගත්සේක. තුනද එකකි, එකද තුනකි ඒවා ස්වර්ගයේ ගණන්ය, මා දන්නේ ලන්කාවේ ගණන් නිසා මට ස්වර්ග රාජ්යයේ ඒවා අවුල්ය. එසේ වූවත් පියාණෝද, පුත්රයානෝද, ශුද්ධාත්තමයානෝද මා සමගද ඔබ සමගද වෙත්වා.

ඉහත දැක්වූයේ මාගේ දෙවියන් වහන්සේය, මගේ බිරිද බයිබලේ මළාට කියවලා නැත නමුත් ඇගේ දෙවියා නම් හැම වරදකටම සමාව දෙන, සර්ව බළදාරීයාය .මාගේ දෙවියන් පළිගැනීමේ දෙවියන් වහන්සේය. සත් වරක් පළිගන්නා බවට කායින්ට පොරොන්දු වන්නේ උත්පත්ති කතාවේය. දැඩිමුන්ඩලා කැලේය, කඩවර ලාට වඩා ගේම දෙන්නේය, සූනියම් දෙවියාට වඩා දරුණුය. "ආ ඔයා කියන්නේ පරණ ගිවිසුමේය, අලුත් එකේ එහෙම නැතිය කියා" බයිබලේ තෝර තෝරා කියවනවුන් ශුද්ධවර මැතිව් පොතේ 5 වන පරිච්ඡේදයේ 17 සිට 20ට කියවා පරණ තෙස්තමේන්තුවේ මෝසස්ගේ දස පණත කියවන මෙන් ඉල්ලමි (නික්මයාම 20). මන්ද මාගේ දෙවියෝ ජෙලස් දෙවියෙකි. සින්හලට පරිවර්තනයේදී ‘ප්රතිවාදීන් නොඉවසන උතුමාණෝ’ යයි දක්වා ඇතත් ඉන්ගිරිසියේදී නම් තාමත් "J" දෙයියෙකි.(නික්මයාම 34:14 බලාත්වා)

මාගේ සිතේ උභතෝකෝටිකයකි, දෙවියන් නිරය මවයි, එයට යැවීමට ක්රයිටීරියාද හදයි, දෙවියන් සියල්ල දන්නා බැවින්ද දේව කැමැත්තෙන් තොරව කිසිවක් නොවනා බැවින්ද අපිවන් අදේවවාදීන් හදා ඇත්තේද දෙවියන් විසින් බව හිතෙයි.මේ නම් දේව කැමැත්තකි ඊට එරෙහිනොවිය යුතුය. මා වැනි එවුන් තව එහි ඇතිනම් මොන්ගල් දේව ඩයල් සමග ස්වර්ගයේ සිටිනවාට වඩා නිරය දාහෙන් සම්පතකි. අපිව ගලවාගන්න එන එවුන් බයිබලේ කියවන්නේ උඩින් පල්ලෙනි, කියවා නැතිතැන් වලින් ප්රශ්ණ ඇසූවිට අපිට විශ්වාසය නැතෙයි කියයි. විශ්වාසය නැති නිසා දෙව් පුත්රයාගේ බලයද නැත, මේ කියන්නේ මගේ පුද්ගලික අදහස් නෙවේය, ශුද්ධවර මාර්ක්ගේ සුභාරන්චියේ 6 පරිච්ඡේදයේ 5 වගන්තියයි, කරුණාකර සොයාබලන්න. 

ශුද්ධවර මාක් 6 :5-6 “එහි දී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කිරීම හැර, අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නොහැකි විය. 6 ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක”. කෙසේ වෙතත් ලෙඩ සුවකරවා ගෑනීමට නූතනයේ  රෝහළට නොගොස් දෙවියන් යැද්දවුන් දෙවියන් වෙතටම ගියාය.ඒ අතින් නම් ඉවැන්ජලික්යෝ සුපිරි වැඩ්ඩෝය. කුරුසියක් ගසාගන්න සුපිණ්වත.

මේ මක්කා කිව්වත් අපේ නෝනා සමග සිකුරාදා රෑ ඉවැන්ජලික පල්ලියට බයිබලය ගෙන යා යුතුය, අනවශ්යය ප්රශ්ණ නොඇසිය යුතුය, බයිබලේ අගසිට මුලට කියෙව්වත් ඒ බව අන් අයට නොපෙන්විය යුතුය, ප්රෙයිස් ඇන්ඩ් වර්ශිප් එකේ අත් උස්සා, හූ කියා ආතල් එක පෙන්විය යුතුය. අවසානයේ චිකන් අන්ඩක්,  පෝර්ක් කැල්ලක් කා වටේටම උම්මා දී ගෙදර ආ යුතුය. දැන්නම් නිරය නියතයකි ස්වර්ගය සිහිණයකි. “අලෙල්ලුයා...ප්රෙස් ද ලෝර්ඩ්"

© පසන්,  මැයි 21, 2019.

DISCLAIMER : මේ ලේඛකයා බයිබල විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.
බයිබල් පාඨ උපුටා ගත්තේ, www.bible.com - public domain, 

පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි... 

1 comment: