Friday, September 6, 2019

~~~ "සොනට් 129” ~~~



~~~ "සොනට් 129”  ~~~

ඉංග්රිසි සාහිත්යය වංශකතාවේ පතාකයින්ගේ නිර්මාණ කතාබහක් එක්ක අපේ සිකුරාදා දවස ගතවෙන්න ගත්තා. ආදරය, ශෘංගාරය සහ කාමරතිය එක්වෙච්චි තවත් රසබර, හරබර හෝරාකීපයක් ජීවිතේ එක්කම ගෙවිලාගියා. දේශපාළණයෙන් තොරව මීවිතෙන් තොරව ගෙවුන ඒ කාළය නම් අපතේ ගියවගක් මට හිතුනේ නෑ. 

අද සාහිත්යය සැඳැවක්, ශේක්ස්පියර්ගේ සොනට් 129,  මාර්වෙල්ගේ "ද ඩිෆිනිශන් ඔෆ් ලව්", කීට්ස් ගේ "ඔඩ් ඔන් මෙලන්කොලි", ඩෝසන් ගේ "විටයි සුමෝ බ්රේවිස්” (Vitae Summa Brevis), යීට්ස් ගේ "ඇන් අයිරිශ් එයාර්මන් ෆෝර් සීස් හිස් ඩෙත්" , කමින්ස් ගේ " යූ ශැල් අබව් ඕල් තින්ග්ස් බි ග්ලැඩ් ඇන්ඩ් යන්ග්", ස්ටීවන්ගේ "ද එම්පරර් ඔෆ් අයිස් ක්රීම්", මැක්නීස් ගේ "ද සන්ලයිට් ඔන් ද ගාර්ඩ්න්", ඕඩ්න්ගේ "ලේ යුවර් ස්ලීපින් හෙඩ්, මයි ලව්" කටපාඩමින් සහ ගූගල් කරලා බලාගෙන කියවන්න තරම් විසිරැනු, පැතිරැනු මතකයක් තියෙන මිතුරන් අතර ගැවසීමත් එක්තරා පිනක්. 

මගේ නම් මතකයන් ගැවසුනේ ඇමෙරිකන් පොයට් හාර්ට් ක්රේන් එක්ක. ක්රේන්ගේ කාව්යය/ පද්යයවල තිබුනේ ඇනෝමලි එකක්. ආක්යයනයේ පද ගැළපුම විලෝපිතයි. දෙවෙනි පදේට කලින් තවත් යමක් තියෙන්න ඕන ගැලපීමක් එන්න කියන අදහස මට බොහෝමයක් තැන්වල හිතුන දෙයක්. ඉතින් මේ ලෝකේ ඉන්න තේරැමක්ම නැති කවි ලියන කවියෙකුට වුනත්, තමන්ගේ තේරැමක් නැතිකවිවල ශබ්දරසය හෝ අකෘතිමය අලංකාරයවත් රැකගන්න ඕන කියලා හිතෙන්න ඕනනේ.. එහෙම හිතෙන්නෙත් නැති මොඩර්නිස්ට්, හයිලි ස්ට්යිලිස්ඩ්, ඇම්බිශස් ස්කෝප් එකකින් කියවන්නාට පිස්සු පීකුදු වෙන්න ලියන මට නම් ක්රේන් හොඳා.ඒ අතරට අර්ලි මොඩර්නිස්ට් එකේ එස්රා පවුන්ඩ්නුත් ඉඳහිට ඇඳිලා ආවා. තමන්ගේ විශාරද නිර්මාණයක් ගැන ඇතිවන අභිමානය ෆ්රොස්ට් ගේ "ද ඇක්ස් හෙල්ව්" වගේ නිර්මාණයක ගලපලා තිබුනට මටනම් එහෙමට සතුටුවෙන්න දෙයක් ක්රේන්ගේ තිබුනේ නෑ. ඒ වුනාට ක්රේන්ට මම කැමතියි.

සිංහල කවි සාහිත්යයේ බණ්ඩාර කේ. විජයතුංග අපේ මාතෘකාවට ලක්වුනා. ඇත්තටම කවියාගේ භාෂා භාවිතය, එලි වැට, එලිසමය, ශබ්ධ මාධූර්යය, අන්වය, සම්ප්රදායික කවි තුළ වාච්යාර්ථයට පිටිං ගිය ව්යාංගාර්ථ, කාව්ය අලංකරණ හා කාව්යයටම උචිත කාව්යමය භාෂාව සහ හයිකූ අපි විශාරද සංදර්භයකින් තොරවම නිදහසේ කතාකරා මොකද අපි චූල සම්ප්රදායේ උදවියනේ, බුකියේ වලිදාන, උස්තැන් දැක හැකිලෙන මිටිතැන් දැක පුප්පන අය අපි අතර නැතිනිසාත්, ස්වල්පයක් අතර සංසරනය වන අපේ අංකුර කවි අරටු බැහැපු ප්රවීනයොන්ගේ කවි වලට අලගු තියන්න බැරිවිත්තියත් අපි හොඳටම තේරැම් අරන් හිටිය නිසා. අපිත් ඉතින් මොකෝ රහත්වෙලායැ පොඩි සාදුලගේ කවි ගැනත් එහෙන් මෙහෙන් කියවුනේ ෆේස්බුක් එකේ කවියන්ගේ විප්රකාර දැකලා සසර දිග් වෙන එකත් කතාවෙචිචි නිසාතමයි. නාගොල්ලාගම කවි අතරට ජගා "ප්රොවර්බියල් බැල්ඩ්ස්" නුත් ගෙනල්ලා අතැරියා. ඇත්තටම බණ්ඩාර කේ. විජේතුංගත් පිටු පාලා ගිය පෙම්වතියක් අමතක කිරීමට නම වෙනස්කරගත් කෙනෙක්. බණ්ඩාර මුලින් හඳුන්වලා තිබුනේ ආනන්ද කේ. විජේතුංග යන නාමයෙනි.  සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජේතුංග ඔහුගේ සම්පූර්ණ නම , ආනන්ද, බණ්ඩාර වුනේ ප්රේම පලහිලව්වක් නිසා කියලා තමයි මම සිළුමිණ පත්තරේ අතිරේකයක කියව්වේ. ප්රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්යයි, කියලා නන්දා මාලිනී ගැයුවට අපේ කතාබහ ඇදිලා ගියේ මොහොතක සුවදෙන ලෞකිකවූ කාමයක් ගැන.

හැබැයි අපේ විවරණයට ලක්වුනේ ශේක්ස්පියර්ගේ සොනට් 129, ඒකත් ලස්සනට තේරැම් කරවලා ශාස්ත්රීය අගයක් එක් කලේ සෑමා, තට්ටේ හින්දා සිවුරක් අන්දලා බණට ඉදිරිපත් කරන්න පුලුවන් වුනාට ඇතුලේ ජාගර චිත්තයක් තියෙන සෑමා තමයි.

මේක බලාපොරොත්තු රහිත වෙච්චි පිරිමි හිතක තියෙන සංතාපයද? කාමතෘෂ්ණාවද? කියන එක පැහැදිලි නෑ. ඒකට හේතුවත් අනිත් පද්යයන්ගේ තිබෙන්නාවු පුද්ගලාබද්ධ ස්වභාවය නැතිනිසා. උදාහරණයකට ගත්තම “I” , “me”, “myself”, “thyself”, “thou” or “thy” කියන  පර්සනල් රිෆරන්ස් නැතිනිසා. මෙතනදී ශේක්ස්පියර්ගේ රාගික චිත්ත වික්ශෝපයද නැත්නම් අනියම් මෛවුන්දමකින් පස්සේ ඇතිවන සන්තාපයද කියලා නියම වශයෙන් විවරණයක් දෙන්න සෑමාට බැරි වෙනවා. සෑමා විතරක් නෙමේ ලොකේ කිසිම කෙනෙකුට බැරිව ඇති ශේක්ස්පියර්ටම ඇරෙන්න. එතනදී නාරි කේළ යුශ බින්දක් තොලගාගෙන ශේක්ස්පියර්ගේ සොනට් එකම එලු සඳස් ලකුණෙන් වර්ණ/මාත්රා එක්කරලා ප්ලුතයක් වගේ වරනගමු කියලා ජගා කිව්වේ සිකුරාදාට වයිල්ඩ් ටර්කි හනී ස්ටින්ග් එකක් ගහමු කියපු එක මතක් වෙලාද කොහේද. කොහොමත් ශේක්ස්පියර්ට ස්ත්රී පක්ශයේ අවධාණය තියෙන්න ඇති. අවුරැදු දහ අටේ ශේක්ස්පියර් අවුරැදු විසි හයේ ඈන් හැතවේ බැන්දට විවාහ ජීවිතේ සාර්ථක නැතිවගට ඉතිහාසඥයන් කියන්නේ ශේක්ස්පියර් වැඩි අවුරැදු ගානක් ලන්ඩන් වලත් ඈන් ස්ට්රැට්ෆර්ඩ් වලත් හිටපු නිසා වෙන්න පුළුවන්. 

Sonnet 129:  Th'expense of spirit in a waste of shame
  ~ BY WILLIAM SHAKESPEARE

Th' expense of spirit in a waste of shame 
Is lust in action; and till action, lust 
Is perjured, murd'rous, bloody, full of blame, 
Savage, extreme, rude, cruel, not to trust, 
Enjoyed no sooner but despisèd straight, 
Past reason hunted; and, no sooner had 
Past reason hated as a swallowed bait 
On purpose laid to make the taker mad; 
Mad in pursuit and in possession so, 
Had, having, and in quest to have, extreme; 
A bliss in proof and proved, a very woe; 
Before, a joy proposed; behind, a dream. 

    All this the world well knows; yet none knows well 
    To shun the heaven that leads men to this hell.


මේ 👆 තියෙන්නේ සොනට් 129, මේකේ පද බෙදීම වගේම විරාම ලකුණු බොහොම ලස්සණට ශේක්ස්පියර් යොදනවා උපරිම අලංකාරයක් එකතුකිරීමට.පළමු පද පේලියෙන්ම කියවෙන්නේ මෛවුන්දම නාස්තිකාර, නින්දිත ක්රියාවක් වශයෙන්, “Expense of spirit” එකෙන් එහෙම අර්ථයක් යෝජනා වෙන බව තමයි සෑමාගේ අදහස, මම නම් ඒකට එකඟ නොවුනත්, දෙවෙනියට අර්ථ දක්වපු “In waste of shame” කියන එකේ අහවර කරන ලද තේරැමට නම් එකඟ වුනා..තුන සහ හතර පද වල එන ( “Perjur’d, murd’rous, bloody, savage, extreme, rude, cruel” ) තරහව සහ මානසික ශක්තීන් පස්වෙනි පදයේ රාගිකව තාවකාලිකව ආශ්වාදයක් ලැබ පසුව හෑල්ලුවට ලක්කිරීමත් දැක්වෙනවා. “Despised once the chase is over” කාම තෘෂ්ණාව තාවකාලික උමතුබව ඇතිකරවයි (හයේ සිට නමය දක්වා වූ පද ) එය නිසා මිනිසෙකු සිහි විකල බවට පත්වීම සිදුවේ. ඒ මොහොතේ රාගයේ මිහිර, ඒ හා බැඳුනු ආශ්වාදය, කාමුක ප්රමෝදය විවාදයට ලක් කලනොහැකි දෙයක්, ගැටළුව ඇත්තේ මෝචනයෙන් පසුව ඇතිවන්නාවූ වරදකාරී හැඟීම්, උපවද්යයතාවය තුලයි. 
අවසාන දහතුන සහ දහහතර පදයෙන් දක්වන්නේ සියල්ලන් රාගයේ උණුසුමත්, පෙළඹවීමත් එය ප්රතිරොධය කිරීමට බාධාවත් නිසා ඇතිවන්නාවූ අභ්යන්තර අරගලය පරාජය වීම දැක්වීමටය. මිනිසුන් වශයෙන් සහ විශේශයෙන් පුරැශයන්ගේ තිබෙන්නාවූ අවේණික ලක්ශණයක්ද? නැතහොත් ශේක්ස්පියර්ගේ පුද්ගලානුබද්ද අත්දැකීමක්දැයි කීමට තරම් සාධක සොයාගතනොහැකි බව තමයි අපේ බහුතර එකඟවීම වුනේ.1585 සිට 1592 දක්වා කාළය ශේක්ස්පියර්ගේ නැතිවූ අවුරැදු ලෙස දැකිවීමට අන්තර් ජාළයේ සාක්ශී නම් බොහොමැයි... ඒ අතර තුර සිදුවූ අනුරාගික සබඳතා, පසුතැවීම්, වික්ශෝපයන් විලියම් ශේක්ස්පියර්ගේ සොනට් 129 මගින් සමාජගතකොට ඇතිබව අපි අවසන නිගමනයකට එළඹීයෙමු.

ප්රසංග නිවේදන කලාවේදී ද අපගේ සාකච්චා අතරට ඇතුලත් වූ, බණ්ඩාර හයිකු කාව්ය සම්ප්රදායය අනුගමනය කරමින් ගීතවලට ඉතාම කෙටි හැඳින්වීම් නිවේදන ඉදිරිපත් කල කෙනෙකි. වික්ටර් රත්නායකගේ ‘මාලිනියේ’ ගීතය ඔහු හඳුන්වා දෙන්නේ මෙසේය.

“පතිවත රකිනා කුල කුමරියන් ද ලොව ඇත.
ඇත...? අපි එසේ සිතමු”

ලෝඩ් චැම්බර්ලේන්ගේ අභ්යන්තර කවයේ සාමාජිකයෙකු වූ ශේක්ස්පියර්ද කාමයෙන් සන්තෘප්තව කල්ගෙවූ අයෙක් විය. ඔහුගේ බිරිඳ සමගද තුන්කොන් ප්රේමයක් තුබුනේය..
අපිද එසේ සිතමු...

ඒ අතර තුර රස විඳිමූ "සොනට් 129"

පසන්, පර්ත්, 2019.

පින්තූර අන්තර්ජාලයෙනි.

No comments:

Post a Comment