“මතක තියෙන මාතර”
මාතර ගැන ලියපු බ්ලොග් කියවනකොට මට මාතර මතක් වෙනවා, පොල්හේන මතක් වෙනවා.. මාතර කියන්නේ මටනම් පුදුම අත්දැකීම් අත්විදීම් දුන්න ලස්සන තැනක්. මම ඉපදුනේ පොල්හේනට අල්ලපු ගමේ. පොල්හේන බීච් එකේ ඉදන් වම් පැත්තට බැලුවම පොඩි දුපතක් පේනවා. තව ඈතට බැලුවොත් කොටුවේගොඩ පරෙවි දුපත පේනවා, ලගින්ම පේන පොඩි දුපතට කිව්වේ "ගල්ගොඩියාන" කියලා. ඒ දුපත කෙලින්ම වගේ තමයි අපේ ගෙවල් තිබුනේ.
ඔය දුපතට උදේ වරුවට ඇවිදගෙන යන්න පුලුවන්, හැබැයි යන්න ඕන විදියක් තියෙනවා, හවස් වරැවට නම් පීනන්නම වෙනවා. කාලෙකට ඉස්සර මම මගේ යාලුවන්ව ඉම්ප්රෙස් කරන්නේ ඔය දුපතට එක්ක ගිහිල්ලා. දුපතට එක්ක යන වෙලාවට ත්රාසය, භීතිය ගෙන දෙන්න පොඩ්ඩක් ගිලෙන්න, කොරල් වලට කකුල් තුවාලවෙන්න එක්ක යන්න මම දැනගෙන හිටියා. දුපතට ගියාම ඇතුලේ තියෙනවා "ටු ස්ටොරිඩ් ගල් ගෙයක්" මේකේ ඉතිහාසයත් හරිම රසවත්, සියමේ ඒ කියන්නේ දැන් තායිලන්තේ රජ පරම්පරාවේ චාරිත්රයක් තියෙන්වා රජ වෙන්න කලින් පැවිදි වෙන්න ඕන, ඒක රජ නොවුනත් සමහර රජ පවුලේ අය කරනවා,ඉතින් තායි රජ පවුලට සම්බන්ධ ප්රිස්‌දාන් චුම්සායි කුමාරයා පැවිදිවෙලා වැඩ වාසය කරලා තියෙන්නේ මේ දුපතේ තමයි.වැඩිපුර විස්තර 2018 මැයි අට දිවයින පත්තරේ හසිත චාමිකර ගුණසිංහ ගේ “සිරිලක පැවිදි වූ සියම් රජ කුමරු” ආටිකල් එකෙන් බලා ගන්න පුලුවන්.
ඉතින් මේවා කියලා කෂ්ටියව පුදුම කරලා ගෙදර එක්ක එනකොට අම්මා බත් හට්ටි දෙක තුනක් හදලා. මොකද මුහුදේ නාලා ආවම කන්න පුලුවන් පැලෙන්න. .අපේ අම්මා ගොරකදාලා හින්දලා හදන මාලු ඇඹුල්තියල් එකක් තිබුනා..තාමත් මතක් වෙනකොට බඩගිනි වෙනවා...ඒක තරම් රස මාලු ඇඹුල් තියල් එකක් මම කොහෙදිවත් කාලා නෑ. ඒකේ ගුණ වරුණාව කටින් කට ගිහිල්ලා මගේ යාලුවන්ගේ නෝනලාත් ළමයි හම්බවෙන්න එනකොට පණිවිඩ එවනවා "අනේ අම්මගේ මාළු ඇඹුල් තියල් කන්න ආසයි" කියලා..අපේ අම්මත් ඒවගේ ඒවට පීදිලා ඉන්නේ..අපේ ගෙදරට මාළු ගේන කෙනාට කියලා මාලු අරගෙන ලොකු මාළු ඇතිලියක් හදලා..හොදට ලොකු බොක්ක තියෙන පිගානකට අඩුක් කරලා..මට දෙනවා..ඒකත් එක්කම අග්ගලා දාපු පොඩි පෙට්ටියක් එහෙමත් නැත්නම් හැලප පාර්සලයක් අනිවාර්යයෙන්ම දෙනවා..මට හුළන්..මමත් හැලප හරි අග්ගලා ඉල්ලුවාම, අම්මා සුපුරුදු පූස් හිනාව දාලා "අනේ පුතේ ඒ දරුවට දෙකම දෙන්න..මම පස්සේ ඔයාට හදලා දෙන්නම් කියනවා විතරයි..මගේ පන්ගුව නෑ..කිරිබතුයි, කට්ට සම්බෝලෙයි එක්ක මාළු ඇඹුල් තියල් අපේ ගෙදරින් කාපු මගේ යලුවෝ තාමත් ඒවා ගැන කියවනවා..අපේ අම්මටත් තිබුනේ ආච්චිට වගේම සන්ග්රහයට මිනිස්සුන්ට කන්න දෙන්න ආසාවක්..ඕනෙම වෙලාවක එන කෙනෙක්ට පැය භාගෙන් උයලා රසට දුම්දාන කෑමවේලක් දෙනවා..අම්මගේ පරිප්පු තෙම්පරාදුවකුත් තිබුනා..පොල්සම්බෝලෙත් එක්ක රතුහාලේ බතට ගැලපෙන.. දෙලුයි පොලුයි බලමාලුයි එක්ක රතුහාලේ බත් කාලා, කුරුමබා බීලා පොල්හේනේ ස්විමින්කරලා මටත් තිබුනා බැදුන තෙල් පාට ඇඟක්., .බෝල ශොල්ඩර්ස් එක්ක 26ක ඉනක් තිබුන අපි දිහා ඉස්සර පොල්හේනට ආපු සුද්දියෝ ඇස් පොඩිකරගෙන බලාගෙන හිටියේ..අපිත් එක්ක හිටපු සමහරැ ඉගෙනීමට එච්චර උනන්දුවක් දැක්වුවේ නෑ..උන් ඒ ලෙවල් වලින් පස්සෙත් ලයිෆ් සේවින්ග් ම විතරක් කරාට දැන් ඉන්නෙ යුරොප් වල.. ඒ පොල්හේනට ආපු යුරොප් වල සුදු කෙල්ලො කළු හමට ආසවුන නිසා..උන්ගේ ළමයි තමයි එහේ ලස්සනම පාට.. හැබැයි හික්කඩුව, මිරිස්ස වගේ බීච් බෝයි සන්ස්කෲතියක් පොල්හේනේ තිබුනෙ නෑ.. "ඔහේලා ඉතින් මක්කයි ඒවා ගැන දන්නේ නේද?”
පොල්හේනේ මුහුදේ පීනන එක වගේම ස්විමින් මීට්ස් වලටත් යන එක ජීවිතයට බද්ධ වෙලා තිබුනේ.පොල්හේන ස්විමින් ක්ලබ් එකේ ඉන්න කොට එක පැත්තකින් පොල්හේනේ ඉදන් මඩිහට පීනනවා, අනෙක් පැත්තෙන් පොල්හේනේ ඉදන් ගල්ගොඩියානට පීනනවා, තොටමුණේ නිල්වලා ගගෙත් පීනලා තියෙනවා. ස්විමින් මීට් කාලෙට අම්බලන්ගොඩ ඉදන් දුවේ මොදර වෙනකල් පීනලා තියෙනවා.දැනට මාතර, කොලඹ සහ නුවර ස්විමින් කෝචින් කරන බොහොමයක් අය පුද්ගලික මට්ටමෙන් අදුරන්නේ මෙන්න මේ ස්විමින් උණ හැදිලා හිටපු නිසා. ඉතාම හොදින් පුහුණුවීම් කලත් ජාතික මට්ටමට නම් යන්න පුලුවන් කමක් තිබුනේ නෑ..වෙලාව තමයි ඉතින්.. සමහරවිට පහසුකම් අඩුවත් බලපෑවා වෙන්න පුලුවන්, මොකද මුහුදේ පීනපු අපි එකපාරටම පූල් වල පීනන්න ගියාම බැට්ස්මන්ලට තණතීරැ මාරැකරා වගේ තමයි. ඒත් ඒ මතකය හරිම සුන්දරයි.. උසස් පෙළ වෙනකොට පිහිණිම නතර කරලා හොදට පාඩම් කරා, ඒත් කැම්පස් ගියේ නෑ කෙලින්ම ගියේ බැංකුවකට, බැංකු ජීවිතේ රස කථා වෙනමම කියන්නම්. ඒ කොහොම බැලුවත් පොල්හේන මුහුද ජීවිතේට කියලා දීපු පාඩම් නම් ගොඩයි.
එක දවසක් සර්ෆ් බෝර්ඩ් එකක් අරගෙන පුලුවන්තරම් ඈතට ගියා. ආපහු එන්න හදනකොට මුහුද හොදටම සැර වෙලා, රළ පාර බොහෝම ගැඹුරැයි. ටික වෙලාවකින් ගොඩබිම පෙනන නොපෙනතරම් රළ වේගවත්, මම මැරෙන්න සුදානම් වුනා, දහම් පාසලේ කර්ම චතුශ්කය මතක් වුනා. ආසන්න කර්මයක් තියෙනවද බැලුවා නෑ. ජිවිතයේ වැඩිපුර කරපු මොකක් වත් මතක් වුනේත් නෑ.මෙහෙම මැරුනොත් අනිවා දුර්ගති උපතක් තමයි කියලා හිතුනා. පුලුවන් තරම් තිබුනු ශක්තිය යොදාගෙන පිනුවා. එදා ගොඩට ආවාම හිතුවා හැමදාම තුන් සුත්රය කියනවා කියලා. දැනට අවුරුදු 19-20 ක් වගේ. තාම ඒක කරනවා.කාලයක් තිබුනා ගෙදරින් මල් කඩාගෙන, ෆුට් බයික් එකෙන් ගිහිල්ලා මාතර බොධියලග පිරිත් කියපු. මාතර බොධියත් එක්තරා සන්ධිස්තානයක් තමයි අපේ ජීවිත වලට.
පරණ ෆුට් බයික් එකේ මාතර නුපේ පරණ ඩච් මාර්කට් එක ලගින් කුමාරතුන්ග මාවතේ හුණුකොටුවේ හන්දිය හරහා මාතර බෝධිය පහුකරන් මාතර ලයිබ්රි එකට යන එක ඉස්සර හරිම ආශ්වාදයක් දීපු දෙයක්. ලයිබ්රි එකේදී සින්හල සාහිත්ය වංශකතාවේ ප්රමුඛයන්ගේ පොත් වගේම ගෝර්කි, තොල්ස්තොයි, ගොගොල් වගේම ශෝන් පෝල් සාත්රේ, චිනුවා අචිබේ, පැබ්ලෝ නෙරුඩා, ගාර්සියා මාකේස් යන ලෝක ප්රසිද්ද ගත්කතුවරැන්ගේ පරිවර්ථන අපි ආසාවෙන් රසවිදපුවා.,ඒ වගේම තමයි වේදිකා නාට්ය බැලීමත්, අපි නාට්ය බැලුවේ රසාස්වාදය, වින්දනය හා අද්යාපණය වෙනුවෙන්. ආර්. ආර්. සමර්කෝන් ගේ "උතුරේ රාහුල හිමි” දයානන්ද ගුණවර්දනයන් ගේ නරි බෑනා, ජසයා හා ලෙන්චිනා, හෙන්රි ජයසේනයන් ගේ හුනුවටයේ කතාව, ධර්මසිරි බන්ඩාරණායකයන් ගේ මකරාක්ශයා, ධවල භීශණ, ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව, පුත්ර සමාගම, තළමල පිපිලා, අන්දරේලා වගේම ජයසේකර අපොන්සු ගේ අත්, පාතාලේ සොල්දාදුවො සහ තටු අපි ආසාවෙන් බලපූ වේදිකා නාට්ය අතරින් කිහිපයක්…මාතර අපිට තියෙන්නේ අනන්යය වූ කතා විලාසයක්, ලෝකේ කොහේ හිටියත් දකුනේ කෙනෙක් මාතර කෙනෙක් කොහේදී හමුවුනත් ඒ මාතර කතාව එලියට එනවා, පොශ් ඇක්සන්ට්, ස්ටෙටස් මේන්ටේන් කරන ඒවා අපි අතර නෑ. "ඔහේ කවදයි මෙහෙට ආවේ? මක්කයි කියන්නේ, දොඩන්න වෙලාවක් නෑනේ”, ඔය විදිහට පටන් ගන්න ඒ සුහදත්වය ඒ ලබැඳියාව ලංකාවේ අනෙක් පළාත්වල අයගෙන් දැක්කේ බොහොම අඩුවෙන්. කොහොම බැලුවත් බළමාළු කාලා, මුහුදේ රැළ සද්දේ අහලා ඉන්න අපි අසාධාරණේ දැක්කමත් පහුබහින නිහීන කොට්ඨාශයක් නම් නෙමේ. දහයක් එක්ක වුනත් තනියෙන් සටන්කරන්න, දුක හංගගෙන, වේදනාව දරාගෙන ඉලක්ක කරා යන්න යුතුකම් වගකීම් ඉටුකරන්න තරම් හිත හයිය ගැහැණු සහ මිනිස්සු..
මාතර රාහුල විදුහලේ ඉගෙනගෙන වාලුකාරාමයෙ දහම් පාසල් ගියපු අපිට මාතර කියන්නේ අපුරු ලෝකයක්, රසාස්වාදය තිව්රකරපු, ගුණදර්ම ඔප්නන්වපු, දක්ශතා හා හැකියාවන් ගොඩනන්වපු තැනක්,සිහි කරලා හිත ඇතුලෙන්ම සතුටුවෙන්න පුලුවන් තැනක්. ඒ ජීවිතයේ පසුතැවෙන්න දෙයක් නෑ. මම ගමේ කොල්ලෙක්, එහෙම වෙච්ච එක ගැන මම හරියට සතුටු වෙනවා, ගම්වල තියෙන නිද්රාශිලි භාවය, සන්යමය වගේම එකිනෙකා කෙරෙහි තිබුන ලබැඳියාව, ගෞරවය ජීවිතවලට අලුත් අලුත් ඩිමෙන්ශන් එක් කරා, ක්ලබ් ගිහිල්ලා බීලා නටලා ජීවිතේ තේරැමක් හොයන නාගරික ගන්ධබ්බ චරිත වලට වඩා අපේ ජීවිත වල අරමුණු, ඉලක්ක හා අධිශ්ඨානයන් තිබුනා.මට හිතෙන්නේ මේක දකුණේ පොලොවෙම තියෙන දෙයක්, දකුනේ හැමෝම තමන්ට අරමුනක් වගේම වගකීමක් තියෙනවා කියලා හිතෙනවා රටට, පවුලට සහ සමාජයට මොකක් හරි කරලා මැරිලා යන්න.
හැබැයි මේ විස්තර කරලා තියෙන සුන්දර මාතර 2004 සුනාමියෙන් විනාශ වුනා, අපේ මහගෙදරත් කැඩිලා ගියා. පෙර වාසනාව නිසා හෝ ධාර්මික ජීවිතය නිසා ජීවිත හානි වුනේ නෑ.ඒත් අපේ ගමේ දෙසීයකට වඩා මැරැනා, මුලු ගමම අවතැන් වුනා.සුනාමිය නිසා මාතරම වෙනස් වුනා, බස් ස්ටෑන්ඩ් එක අලුතින් හැදුවා. වෙරළ ලග හිටපු මිනිස්සු ඉඩම් කුනුකොල්ලෙට විකුනලා වෙන පළාත් වලට ගියා, සුද්දෝ ඒ ඉඩම් අරගෙන හොටෙල් හැදුවා. තිබුන සෝශල් ෆැබ්රික් එක ඩිස්ටොර්ට් වුනා. පොත් කියවපු නාට්යය බලපු තරුණ පරම්පරාව සුනාමියත් එක්කම මියගියා, කෙල්ලො හින්දා පිහියෙන් අනින, මත්ද්රව්ය වලට ඇබ්බැහි වුන අක්මුල් නැති ගන්ධබ්බයෝ ටිකක් මාතරට බිහිවුනා. සුනාමියට කලින් මුහුදේ පීනපු මට මුහුද එපා වුනා.අලුත් මාතරත් එපා වුනා..
2004න් පස්සේ මම මාතර ගිහින් ඇත්තේ අතේ ඇගිලි ගානට ඒ වුනාට තාමත් හිතින් මම පරණ මාතරට ආදරෙයි.සමහර පෝස්ට් කියවනකොට මාතර කොච්චර වෙනස් වුනත්, ලෝකේ මොන තැන්වල හිටියත්, විවිදාකාරී වුර්තීන්හි නියැලුනත්, සමාජයේ මොන මට්ටම්වල හිටියත්, හිතින් අපිතාම පරණ අතීතයක් ගැන සුන්දර ආවර්ජනයක යෙදෙන දකුණේ සරළ අය කියලා හිතෙනවා. ඒවගේම මාතර මිනිස්සු පොඩි දේවලින් සතුටු වෙන, පෙනුමට වටා බොහොම ගැඹුරැ මිනිස්සු, ඇත්තටම කිව්වොත් මාතර, මාතර මිනිස්සුන්ට ගමක් නෙමේයි ඒක වෙනම රටක්. ඒ අපූරැ මිනිස්සු සහ සුන්දර මාතර හැමදාමත් මට අපුරු මතකයක්..